මේ වන විට අවුරා ලංකා මියුසික් ෆෙස්ටිවල් කියන ප්‍රසංගය අවස්ථා 8කදී පවත්වා තිබුණි. මෙවර එහි 9 වැනි ප්‍රසංගය රාජාංගණය යාය 18 ප්‍රදේශයෙන් ආරම්භ විය.
මීට පෙර අවස්ථාවලට වඩා වෙනස්ව, මෙවර රාජාංගණය ප්‍රදේශයේ ගොවි සංවිධාන සහ ගොවියන් සමග ඒකාබද්ධව වැඩ කරන ක්‍රියාකාරීන් බොහොමයක් පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

මීට වසර දෙකකට පෙර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී අවුරා ලංකා සමාගම පිළිබඳ මුලින්ම අවධානය යොමු විය. 2021 අගෝස්තු 30 වැනිදා කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අවුරා ලංකා සමාගමට ඉඩම් අක්කර 104,066ක් ලබා දීමර තීන්දු කළේය. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් සීයට 6ක් තරම් අති දැවැන්ත ප්‍රමාණයකි.
එපමණක් නොව, විවිධාකාර නීතිවිරෝධි සහ බලහත්කාර ක්‍රම පවා යොදාගනිමින් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගොවීන්ගේ ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලය වූ ඉඩම් මහා පරිමාණයෙන් පවරාගෙන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය. එහෙත් අද දක්වාම එම ව්‍යාපෘතිය ආරම්භ කොට කෝමාරිකා වගා කිරීමට කටයුතු කර තිබුණේ නැත.
මෙම ප්‍රසංග ඉතා අධික මුදලක් වැය කරමින් පවත්වයි. ඔහුම මීට පෙර කියා තිබුණේ ෙවීරවිල ප්‍රසංග මාලාවේ වියදම රුපියල් කෝටි 25ක් බවය. ඊට අමතරව LPL ක්‍රීඩක වෙන්දේසියේදී දඹුල්ල අවුරා ටීම් එකට ක්‍රීඩකයන්ව මිලදී ගන්නට දැනට ඩොලර් ලක්ෂ 10ක් වියදම් කර තිබේ. එම කණ්ඩායමේ වියදම ඒ මෙන් කහිප ගුණයකින් වැඩි වනු ඇත්තේ, එල්පීඑල් තරගාවලිය පවත්වද්දීය.
ජුලි 12 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පරිසරවේදී සජීව චාමිකර විරාජ් තාඹුගලගේ අවුරා ලංකා ප්‍රසංගය පිළිබඳව මෙසේ පැවසීය.
‘අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම කියන සමාගම එක් පැත්තකින් ලංකාවේ පහුගිය කාලය පුරාවට දැවැන්ත ඉඩම් කොල්ලයක් කිරීමට ලොකු උත්සාහයක් දැරුවා. ඒක ව්‍යර්ථ වුණාට පස්සේ තව ආකාරයකින් ජනතාවට ජීවත් වෙන්න තියෙන අයිතිය උදුරාගනිමින් කරගෙන යන මහා සංගීත ප්‍රසංග මාලාවක් පවත්වමින් යනවා.‘
ප්‍රසංගයක ප්‍රශ්නය මොකක්ද?
කෙනෙකුට හිතෙන්න පුළුවන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම හරහා ඇතිවෙන ගැටලුව මොකක්ද කියලා. අවුරා ලංකා සමාගම මූලිකව මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් කියලා සමාගමකින් තමයි ක්‍රියාත්මක කරන්නේ.
අවසර ලබාගැනීම
ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ වන විට දින 20ක කාලයක් රාජාංගණය යාය 18 ප්‍ර දේශයේ ප්‍රසංග මාලාවක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. කිසිම ආකාරයකින් අනුමැතිය අරගෙන නෑ. මේ ආකාර ප්‍රසංගයක් අඛණ්ඩව පවත්වාගෙන යනකොට අනුමැතීන් ගණනාවක් අරගන්න ඕනෑ. ශබ්ද අනුමැතිය අරගන්න ඕනෑ. පොලීසියෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගන්න ඕනෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඩම් සඳහා අනුමැතිය ගන්න ඕනෑ. ඒ අනුමැතිය නැතිවයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ.
විශේෂ අවධානයට ලක් කරන්න ඕනෑ අනෙක් කාරණය තමයි, අවුරා ලංකා සමාගම විසින් යාය 18 ප්‍ර දේශයේ ජනතා ඉඩම් විවිධාකාරයෙන් පවරාගත්තා. ඒ පවරාගත් භූමිය තමයි සංගීත ප්‍රසංග සඳහා සැණකෙලි භූමියක් විදියට පාවිච්චි කරන්නේ. රජයට අයිති ඉඩම්, රජය බලපත්‍ර යටතේ ජනතාවට නිදහස් කළ ඉඩම් කිසිම අනුමැතියකින් තොරව භාවිතා කරනවා.

පවුල් 550ක්
රාජාංගණය ප්‍ර දේශයේ පවුල් 550ක් විතර ජීවත් වෙනවා. ජනතාවට රාත්‍රි යේ නිදහසේ ජීවත් වෙන්න තියෙන අවස්ථාව උල්ලංඝනය වෙලා තියෙනවා. ජනතාව පීඩනයට ලක් වෙලා හිටියත් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා. පොලීසියට පැමිණිලි කළාම මැදිහත්වීමක් සිදු කරන්නේ නෑ.




තාඹුගලගේ බිස්නස්, වෛද්‍ය උපාධි සහ පේටන්ට්
හේතුව අවුරා ලංකා හිමිකරු විදියට කටයුතු කරන විරංජිත් තාඹුකගල කියන පුද්ගලයා මුදල් ලබා දීලා තියෙනවා ඇතැම් රාජ්‍ය ආයතනවලට. තාඹුකල එක පැත්තකින් ව්‍යාපාරිකයෙක් විදියට පෙනී ඉන්නවා. තව පැත්තකින් ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට පෙනී ඉන්නවා.
ඔහු මුදල් උපයාගත් ආකාරය පැහැදිලි නෑ. මුදල් ලැබුණු හැටි ඇහුවාම කියන්නේ ව්‍යාපාරික ක්‍රියාවලිය සඳහාත්,, ඖෂධ ගැන ප්යේෂණ කරලා පේටන්ට් බලපත්‍ර අරගෙන තමයි මුදල් යොමු කරන්නේ කියා කීවා.
පහුගිය කාලය පුරා අපි ඔහුගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම හරහා අක්කර එක්ලක්ෂ හාරදාස් හැටහයක භූමියක් අත්පත් කරගෙන කෝමාරිකා වගා කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී ඒකේ නිත්‍යානුකූල තත්වය සම්බන්ධයෙන් ඒ සඳහා භාවිතා කරන ක්‍රම වේදය, ඊට අමතරව නීතිවිරෝධී ආකාරයෙන් අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක වෙන්න උත්සාහ දරපු මොහොතේ අවධානය ලක් කළාම පැහැදිලි වූ කාරණය තමයි විරංජිත් තාඹුගල කියන්නේ වෛද්‍යවරයෙක් නොවන බව.
උපාධියක් ලබාගෙන හෝ පිළිගත් වෛද්‍ය ආයතනයක පාඨමාලාවක් හදාරලා වෛද්‍ය තත්වය ලබාගත් කෙනෙක් නෙවෙයි.
අලුත්වැඩියා කරන්නෙක්?
ඔහු කරලා තියෙන්නේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යෑම. ඔහු පේටන්ට් බලපත්‍රයක් ලබාගත් බව කීවා. මේකේ අංකය පුළුවන් නම් ප්‍රසිද්ධ කරන්න කියා කීවා. එතකොට අපට දැනගන්න පුළුවන් කුමන ඖෂධය නිෂ්පාදනය කරලාද පේටන්ට් බලපත්‍රය ලබාගත්තේ කියලා.
සමාජයට සාවද්‍ය දේවල් ගණනාවක් ලබාදෙමින් තමයි ඔහු ක්‍රියාත්මක වෙන්නාහු සඳහන් කරනවා සමාගම් ගණනාවක් තියෙනවා කියලා. අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, හර්බල් ප්‍රයිවට් ලිමිටඩ්, කන්ස්ට්‍රක්ෂන් කියලා. ඒ සමාගම්වලින් මුදල් උපයනවා නම් ඒ සමාගම්වල විගණන වාර්තා සමාජයට ඉදිරිපත් කරන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් සමාජයට වියදම් කරන්නේ යම්කිසි ආකාරයකට නිත්‍යානුකූලව පවත්වාගෙන යන මුදල් බවට. ඔහු ඒවා කිසිදෙයක් ඉදිරිපත් කරන්නේ නෑ. අපි පැහැදිලි කළා සමාගම් කිහිපක් තියෙනවා කියලා. අවුරා ලංකා ඒවියේෂන් කියලා කම්පැණියකුත් තියෙන බව කියනවා. මේවායේ විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නෑ.
අපට පේන්න තියෙනවා සමාගම් හදලා තියෙන්නේ සාවද්‍ය විදියට, නාමිකව හැදූ ඒවා බව.
ජාවාරම් සල්ලිද?
මේ පුද්ගලයා ජාවාරම්කාරී ක්‍රියාවලියක් හරහා උපයපු මුදල් සමාජය තුළ ආයෝජනය කිරීමේ ක්‍රියාවලියක් තමයි අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් කියන සමාගම හරහා සිද්ධ කරන්නේ.
පේටන්ට් බලපත්‍රය හරහා මුදල් උපයන්නේ, ඇමෙරිකාවේ ව්‍යාපාර පවත්වාගෙන යනවා කියලා කියනවා. අපි විමසන්නේ ඇමෙරිකාවේ කුමන ප්‍රාන්තයේ, කුමන ස්ථානයේද ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන්නේ. මොකක්ද පේටන්ට් බලපත්‍රෙය් අංකය සමාජගත කරන්න.
ඔහුගේ වෛද්‍ය උපාධියේ තත්වය සමාජයට ඉදිරිත් කරන්න.
ඒවා සඟවාගෙන. අපට පේනවා ධම්මික පැණිය නිෂ්පාදනය කරලා, සමාජයටම අන්දලා, දේශපාලඥයන් පැණි මුට්ටි කරගහගෙන ගියා. ධම්මික වැනි පුද්ගලයෙක්ට සමායජයම අන්දාගන්න හැකියාව තිබුණා.
පොලීසියත් නම්මාගෙන
අවුරා ලංකා හර්බල් සමාගමේ විරංජිත් තාඹුගල කියන පුද්ගලයාට දේශපාලනඥයන්ව සම්පූර්ණයෙන් අන්දන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රාදේශීය නිලධාරීන් ඇන්දීමේ හැකියාව තියෙනවා. මේ වගේ ව්‍යාජ පුද්ගලයෙකුට පොලීසිය අන්දන්න පුළුවන්. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එක නතර කරපු පොලීසිය මේ පුද්ගලයා වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ පුද්ගලයාට ඕනෑ විදියට තමයි අගතියට පත් වූ පුද්ගලයන්ගේ පැමිණිලි විභාග වෙන්නේ. මේ කිසිදු අනුමැතියකින් තොරව යාය 18 ප්‍ර දේශයේ ඔහුගේ ක්‍රියාකාරීත්වය සඳහා පොලීසිය විසින් නිදහස සකස් කරලා තියෙනවා. ඔහු කුමන නීතිය කඩකළත් අත්අඩංගුවට ගන්නේ නෑ. මේ වගේ ජාවාරම්කාරී පුද්ගලයෙකුට පොලීසිය පවා නතු කරගන්න හැකියාව තියෙනවා.
පොලීසිය මේ ආකාරයටද හැසිරෙන්නේ. අපේ රටේ ජනතාවට නිදහසේ හැසිරෙන්න තියෙන අවස්ථාවන් කොහොමද පාලනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් අවධානයට ලක් කරනවා, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් ආයතනය සංගීත ප්‍රසංග පැවැත්වීම හෝ ජනතාවට රසාස්වාදය සැපයීම හෝ, සංගීතයේ යෙදිලා ඉන්න පුද්ගලයින්ට මුදල් උපයන මාර්ග හෝ තමන්ගේ හැකියාවන් සමාජගත කරන්න අවස්ථාව ලබාදීම ගැන අපට ගැටලුවක් නෑ. ගැටලුව මතු වෙන්නේ අවුරා ලංකා කියන සමාගම් ජාලය අපේ රට තුළ නීතිවිරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.
මේ පුද්ගලයාට දේශපාලන, ව්‍යාපාරික සහ මුදල් බලය පාවිච්චි කරලා වෙනම ආකාරයකින් නීතිමය සැලකුමක් ලබන්නේ කොහොමද? මේ පුද්ගලයා බොරු විශාල ප්‍රමාණයක් සමාජගත කරනවා. ඒවා පිළිබඳ කිසි කෙනෙක් හොයා බලන්නේ නෑ.
01. පේටන්ට් බලපත්‍රයක්
02. වෛද්‍යවරයෙක් බව
03. ව්‍යාපාරික ජාලයක් ගැන ඔහු කියන කරුණු පරීක්ෂාවට ලක් වෙන්නේ නෑ.
මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ.
මේ සමාගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර එක්ලක්ෂ හාරදාස් හැටහයදාහක භූමියක් අත්පත් කරගෙන කෝමාරිකා වවා පිටරට යවන්න සැලසුම් කරනවා. ඒ කියන්නේ අනුරාධපුර සමස්ත භූමි ප්‍ර මාණයෙන් සීයට 6ක්. එවැනි භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක රනන්න සැලසුම් කරලා තියෙනවා.
කළු ව්‍යාපෘති සුදු කරන්න
ඒ ව්‍යාපෘතියේ නීතිවිරෝධීභාවයන් ගැන බලපෑම් එනකොට, ඒක සාධාරණීකරණය සඳහා එම ව්‍යාපෘතිය සුදු ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරගැනීම සඳහා තමයි සංගීත ප්‍රසංග හරහා ප්‍රතිරූපය නිර්මාණය කරන්න බලන්නේ.
පසුගිය ආණ්ඩුව සමයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විදියටත්, එස්එම් චන්ද්‍රසේන ඉඩම් අමාත්‍යවරයා විදියටත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තමයි මේ ව්‍යාජ වදියට මුදල් උපයාගත් විරංජිත් තාඹුගල කියන පුද්ගලයාගේ පුද්ගලික සමාගමට අක්කර ලක්ෂ ගණන් ලබාගන්න කැබිනට් අනුමැතිය ලබාගත්තේ.
මේකෙන් බලපෑමට ලක්වෙන සාමාන්‍ය වැසියා දැඩි පීඩාවකට ලක් කරලා තියෙනවා. මේ පිළිබඳ පැහැදිලි පරීකෂණයක් කරලා, මේ පුද්ගලයා කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජයට නිවැරදි අනාවරණයක් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා.
අපි සඳහන් කරපු කාරණා, එකක් හෝ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා නම් අපට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරන් පෙන්වන්න කියා අභියෝගයට ලක් කරනවා.
වැදගත් කරුණු
මෙම ව්‍යාපෘතිය පිළිබඳ සජීව චාමිකර මහතා කළ අධ්‍යන වාර්තාවක ඇතුළත් තොරතුරු මෙසේය.
- මේ ව්‍යාපෘතිය යටතේ අපනයනය සඳහා ඒක භෝග වාණිජ වගාවක් ලෙස කෝමාරිකා වගාව සිදු කිරීම සැලසුම විය.
- රාජාංගනය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 2000 ක් කෝමාරිකා පැල තවාන පවත්වාගෙන යාමටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 102000 ක් කෝමාරිකා වගා බිම් පවත්වාගෙන යාමටත්, ව්‍යාපෘතියේ කර්මාන්ත ශාලාව, මෙහෙයුම් කාර්යාලය හා ගබඩාංගනය ඉදි කිරීමට අක්කර 66 ක භූමියක් ලබා ගැනීමටත් සැලසුම් කළේය. වසර 30 ක දීර්ඝ කාලීන බදු පදනම මත මෙම ඉඩම් ලබා දීමට බලාපොරොත්තු විය.
- සමස්ත ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783 කි. මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් යෙදවීමට ආයෝජකයා සැලැසුම් කර ඇති බව අමාත්‍ය මණ්ඩල අනුමැතියේ සඳහන් වේ.
- ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැසුම් දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෙවතු හෙක්ටයාර 88859 ක් පමණ පවතී. එය මුළු භූමි ප්‍රමාණයෙන් 12% කි. ස්ථිර භෝග, කෙසෙල් හා පොල් වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 6494 කි. එය මුළු භූමි ප්‍රමාණයෙන් 1% ක ප්‍රතිශතයකි. කුඹුරු ඉඩම් හෙක්ටයාර 161752 ක් පුරා පැතිර ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 23% ක් පමණ වේ. වාර්ෂික භෝග හා හේන් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 87510 ක් වේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12% ක භූමි ප්‍රමාණයක පැතිර තිබේ. මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 344615 ක් වේ. එම වගා බිම් වලින් මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතියට 12% ක් ලබා දීමට සිදු වන බව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යයි.
- අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන වගා බිම්වල සුරක්ෂිතතාවයට ප්‍රධාන සාධකය වන්නේ එහි පවතින ජල මූලාශ්‍රයන් ය. වැව්, ජලාශ, ගංඟා, ඇළ, දොළ හා වගුරු බිම් හෙක්ටයාර 67630 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර තිබේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 10% කි. මෙම සියලු ජල මූලාශ්‍රවල පැවැත්ම රැදී ඇත්තේ ඒවායේ ජල පෝෂක ප්‍රදේශ වන වනාන්තර පරිසර පද්ධති මත ය. මෙම දිස්ත්‍රික්කයේ ඝන වනාන්තර හෙක්ටයාර 175627 ක් පමණ ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 25% ක් පමණ වේ. ලදු කැලෑ ඇතුළු ව විවෘත වනාන්තර හෙක්ටයාර 116889 ක් පමණ පිහිටා තිබේ. එය දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 16% කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ඉතිරි හෙක්ටයාර 13139 ට අයත් වන්නේ භෞතික සංවර්ධනයන් සහිත ප්‍රදේශ සහ ගල්පර හා වැලි කඳු ප්‍රදේශයන් ය. ඒ අනුව මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා වනාන්තර පරිසර පද්ධති ලබා දීම සිදු කළ හොත් දිස්ත්‍රික්කයේ සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් 14% ක් අහිමි වේ.
- වාර්ෂික බලපත්‍ර යටතේ වගා කෙරෙන බොහෝ ඉඩම්වල මහ කන්නයට හේන් වගා ව සිදු කෙරෙන අතර යල කන්නයට එම හේන් වගා බිම් අතහර දමනු ලැබේ. අතහැර දමන හේන් වගා බිම් ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ව්‍යාප්ත ව පවතින නියං සමයේ දී අලි – ඇතුන් ඇතුළු බොහෝ වන සතුන්ගේ ආහාර බිම් බවට පත් වේ. එම භූමි ප්‍රදේශ කෝමාරිකා වගාව සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි – මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පත් කර ඉතිරි වගා බිම් ද අනතුරට ලක් කිරීමයි. එපමණක් නොව අනුරාධපුර දිස්ත්‍රික්කය හා සම්බන්ධ ව ඇති පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රික්කවලට ද මේ තත්ත්වය හේතුවෙන් අලි – මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇත.
- මූලික ශක්‍යතා ඇගයීම් වාර්තාවක් හෝ මූලික ව්‍යාපෘති යෝජනාවලියක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ සකස් කර නොමැති ව්‍යාපෘතියක් සඳහා ඉඩම් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ප්‍රධාන ගැටළුවකි. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට සකස් කර ඇත්තේ මූලික සංකල්ප වාර්තාවක් පමණි.
- ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 15 ක්, ගෘහස්ථ ක්‍රිඩාංගනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 28 ක්, නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 10 ක්, පර්යේෂණායතනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 35 ක්, පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 2 ක් හා කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 3 ක් වියදම් කිරීමට සැලසුම් ඉදිරිපත් කර තිබුණි. කෝමාරිකා වගා ව්‍යාපෘතියට අමතර ව විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් කාර්යයන් සඳහා ආයෝජනය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලැසුම් කර තිබේ.
- මාලබේ, තලංගම උතුර, උඩවත්ත පාර, අංක 949/13 දරන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පිහිටි මෙම සමාගමේ උප කාර්යාලය කලා ඔය, රාජාංගනය හන්දියේ ස්ථාපිත කර තිබේ. මෙම සමාගම 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව 2018 ජූලි මස 26 වන දින අංක ඡඪ 00202472 යටතේ ලියාපදිංචි කර තිබේ.
- මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස චන්දික විරාජ් තාබුගල මහතා කටයුතු කරන අතර ඔහු හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසල දැනුමක් සහිත, ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනාගත් පුද්ගලයකු ලෙස පෙනී සිටී. නමුත් ඔහු මීට ප්‍රථම රාජාංගනය ප්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුව නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් මීගමුව හා අනුරාධපුර බන්ධනාගාරවල බන්ධනාගාර ගත ව සිට ඇති බව වාර්තා වේ.
තාඹුගලගේ පිළිතුරු
තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳ තාඹුගල මහතා මීට පෙර අවස්ථාවක නෙත් එෆ්එම් වෙත පවසා තිබුණේ මෙසේය.
‘අවුරා ලංකා ෆෙස්ටිවල් කියන එක කොරෝනා නිසා අසරණ වූ කලාකරුවන් වෙනුවෙන් රාජංගණයෙන් පටන් ගත්තේ. ඒ නිසා පටන් ගත්ත තැන තමයි ෆාම් එකක් ඇතුළේ සැණකෙලිය කරන්නේ. 10 වැනිදා ඉඳන් දින 20ක් ඉදිරියට කරනවා. ලංකාවේ සංගීත ස්ටයිල් ගොඩක් තියෙනවා. විවිධ ගායක ගායිකාවන් ගෙන්වනවා. මිනිසුන්ගේ ආතතිය නැති කරනවා.
සංවිධාන කියාගත්තාට තුන්දෙනෙකුට එකතුවෙලාත් සංවිධාන හදන්න පුළුවන්. එන්ජීඕ සංවිධාන. අපේ ආයතනය සමග ඒකාබද්ධව කටයුතු කරලා මූල්‍යමය වංචා කරපු තුන් හතරදෙනෙකුත් එකතුවෙලා විරෝධයක් පවත්වාගන යනවා.
චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මම නීතිය අවභාවිතා කරන්නේ නෑ. ලිඛිත අවසරය ඇතිව තමයි කරන්නේ. නීතිමය රාමුවට කොටු වෙලා තමයි කරන්නේ. ශබ්ද විකාශන යන්ත්‍ර, ගොවීන්ගේ කැමැත්ත, මාර්ගවල ඉදිකිරීම් ඇතුළු සියලු අවසරයන් ඇතිව තමයි කරන්නේ. මේකට විශාල ආකර්ෂණයක් තියෙනවා ඒවා බලා ඉන්න බැරිව සමාජ විරෝධය.
නීතිවිරෝධී කටයුත්තක් නොවන නිසා නිත්‍යානුකූල පසුබිම තුළ නීතියට හානියක් වුණොත්. නීතියෙන් අවසර නැතිවුණොත් ඉවත් කරනවා මිස කිසිම හේතුවක් උඩ ප්‍රංගය නවත්වන්න බලාපාරොත්තුවක් නෑ.
ලෝකයේ රටවල් 170 ප්‍රසිද්ධ වෙන්න ලඟාවෙමින් තිබෙනවා.
මම ජාත්‍යන්තර ව්‍යාපා ගණනාවක් පවතිනවා. රටේ විශාල තානාපති කාර්යාල තියෙනවා, බුද්ධි අංශ තියෙනවා. හැමෝටම පුළුවන් පරීක්ෂණ කරන්න. මම අද වෙනකොට රටට විශාල විදේශ විනියක් ගෙනල්ලා තියෙනවා. මම මුදල් උපයන්නේ නිත්‍යානුකූලව. කලාකරුවෙකුට පවා මුදල් ආයෝජනය කරන මගේ අනෙකුත් ව්‍යාපාරවලින් ලැබෙන ලාභය තමයි ලංකාව තුළ යොදවන්නේ.‘


