Wednesday, October 4

ඊපීඑෆ් සහ වහල් නීති උමතුවට එරෙහිව වෘත්තිය සමිති ඓතිහාසික එකතුවකට පෙළගැසේ! දැවැන්ත කැළඹීමක් අත ළඟ

කම්කරු නීති සංශෝධන සහ ඊපීඑෆ් අරමුදලේ ප්‍රතිලාභ විනාශ වන ආකාරයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමට එරෙහිව මෙරට වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට පෙළගැසෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ දැවැන්ත ක්‍රියාමාර්ග මගින්, ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කිරීම සඳහා වෘත්තිය සමිති පෙළගැසෙනු ඇත.

මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ගය සඳහා වෘත්තිය සමිති සිය ගණනක ඒකාබද්ධතාව අවශ්‍ය වන බවත්, ඒ සඳහා මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර හමාර බවත් අප සමග අදහස් දැක්වූ වෘත්තිය සමිති ආරංචිමාර්ග පැවසීය.

ජුලි 10 වැනිදා වරාය වෘත්තිය සමිති දැවැන්ත උද්ඝෝෂණයකට එක් වූ අතර, ‘රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඊපීඑෆ්/ඊටීඑෆ් ජනතා අරමුදල් බේරා ගැනීමට සටන් කරමු‘ යන තේමාවෙන් යුතුව එම විරෝධතාව පවත්වා තිබේ.

ජුලි 11 වැනිදා දහවල් 12.00ට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධ විරෝධයක් සංවිධානය කර තිබේ.

ජුලි 12 වැනිදා සවස තවත් විරෝධයක් කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර ඇත.

ජුලි 14 වැනිදා දහවල් 12.30ට ස්වාධීන වෘත්තිය සමිති ඒකාබද්ධව ගොඩනැගුණු එක්වෙමු සංවිධානය විරෝධතාවක් සංවිධානය කර තිබේ.

මේ වන විට විවිධ කඳවුරුවල ගොනු වී සිටින වෘත්තිය සමිති මෙලෙස සිදුවන සියලු ක්‍රියාමාර්ග ඒකාබද්ධ කරගනිමින්, දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත. වාර්තා වන ආකාරයට ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකත්වය හිමි වෘත්තිය සමිති, වෘත්තිය සමිති එකමුතුව, එක්වෙමු සංවිධානය සහ අනෙකුත් දේශපාලන පක්ෂවලට අනුබද්ධ වෘත්තිය සමිති එලෙස ඒකාබද්ධ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා පවත්වමින් සිටී.

ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයන් වූ සහ මෑත දිනවල එම සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද වෘත්තිය සමිති අතර ජුලි 10 වැනිදා උදෑසන පැවති සාකච්ඡාවකදී ඉදිරි කාලය තුළ කම්කරු නීති සංශෝධන සඳහා මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතත්, එහි ඇති වෘත්තිය සමිති දුර්වල කරන සහ සේවක අයිතීන් කප්පාදු කරන බවට හඳුනාගෙන ඇති කරුණුත් පිළිබඳ සාකච්ඡා කර තිබේ. ඊට අමතරව ඊපීඑෆ් අරමුදලට සිදු වීමට නියමිත හානිය පිළිබද සාකච්ඡා කර තිබේ. ඒවා පිළිබඳ පෙත්සමක් අත්සන් කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැන එහිදී සාකච්ඡා කර තිබේ.

ජුලි 10 වැනිදා සවස්වරුවේ එක්වෙමු වෘත්තිය සමිති එකතුවේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවේදී, ජුලි 14 වැනිදා කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමටත්, රට පුරා පළාත් මට්ටමෙන් ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටත් තීන්දු කර තිබේ.

මේ අතර මෑත කාලයේ ගොඩනැගුණු වෘත්තිය සමිති එකතුව නම් වූ සන්ධානයේ සාමාජික සංවිධාන අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.

Author

%d bloggers like this: